Friday, December 29, 2017

යකුන් මළ පෙරේතයන් භූතයන් නිධාන සහ, හදි හූනියම්


මගේ හිතවතෙක්ගේ පුත්‍රයෙක්ට, යකුන් මළ පෙරේතයන් සහ නොයෙක් ආකාරයේ භූතයන් පෙනේ. ඒ ඔහු කියන දෙය මිසක, මා පිළිගන්නා හෝ පිළිනොගන්නා දෙයක් නොවේ. ඔහු සමඟ ගමනක් යන විට, තුන් මං හන්දි, පාලම් අසල එවැනි භූතාත්ම ඇති බව ඔහු කියයි. මගේ හිතවතා, එනම් මේ ළමයාගේ පියා තේ කර්මාන්තයට සම්බන්ද සුපිරි ධනවතෙකි. එහෙත් ඒ සියළු දේට හිමි කම් කීවද, එම තේ වතු වලට යන්නට මේ ළමයා එතරම් කැමැත්තක් නැත. විශේෂයෙන් ඒ වතු හිමි අය මිය ගොස්, භූතාත්ම වී එම තේ වතු ආශ්‍රිතව ජීවත් වන බව ඔහු කියයි.
එහෙත් ඒ භූතාත්මයන්ගේ සාමාන්‍යයෙන් දකින භූතයන්ට වඩා වෙනසක් ඇති බව ඔහු කියයි. එනම් එවැනි තේ වතුවල වැඩියෙන්ම සිටින්නේ, සුදු මිනිසුන් මිය ගොස් භූතයන් වූ අය බවය. ඔවුන් මිනිස් භවයේ සිටි කාලයේ ඔවුන් විසින් මේ වතුවල සඟවා ඇති වස්තුව ගැන ආශාවෙන් හෝ, එම වතුවලට ඇති ආශාව නිසා මිය ගොස් භූතයන් වී ඇත.
මෙය සත්‍යයක්දැයි බලන්නට ඔහු නොදන්නා එක්තරා තේ වත්තකට ඔහු කැටුව ගියෙමි. එම තේ වත්තේ ඉතිහාසය මා කලක සිට දන්නා තැනකි. ඒ තේ වත්තේ අවසාන ඉංග්‍රීසි හිමිකරුවන් වූයේ යුවළකි. ඔවුන් දෙදෙනාම මිය ගොස් ඇත්තේ මේ තේ වත්තේ දීමය. දෙදෙනාම ස්කොට්ලන්තයෙන් පැමිණි, අසාමාන්‍ය ලෙස උසැති අය විය. ඒ අයගේ පින්තුර මා දැක ඇත්තෙමි. මෙතෙන්ට ඉහත කී ළමයා එක් කරගෙන ගියවිට, ඒ යුවළ අදත් භූතාත්ම වශයෙන් ඒ වත්තේ ජීවත්වන බව ඔහු විසින් කියන ලදී. ඔහු විසින් කියන ලද එම භූතාත්ම වල ස්වභාවය මා පින්තුර වල දුටු ආකාරය විය.
මේ කතා අසා මහත් විමතියක් ඇති වී, මා ඔහුව තවත් ස්ථානයකට එක් කර ගියෙමි. ඒ ස්ථානය මට අයත් කුඩා ඉඩමකි. එම ඉඩමද අතීතයේ එනම් ලංකාව නිදහස ලබාගන්නට පෙර සුදු ජාතිකයන්ට අයත්ව තිබිණ. කවදා හෝ මා විශ්‍රාම ගිය කලක කරන්නේ යයි සිතා ගෙන සිටින, එහි ඉතා කුඩා හෝටල් ව්‍යාපාරයකි. මේ පළාතේ ඇති සංචාරක ආකර්ෂණය වන්නේ, හෝටලයට කිලෝ මීටර කිහිපයක් ඈත ඇති දුම්බර නිම්නය හෙවත් නකල්ස් කඳු පන්තිය වේ.
කඳු නැරබීමට එන බොහෝ දෙනෙක් මෙන්ම මාද, මීටර් සීයෙන් සීයට තුරු ලතා වෙනස් වන මේ පළාතට පෙම් බැඳ ඇත්තෙමි. මෙතෙන්ට එන අය නකල්ස් කඳු උඩට කැටුව යන අතරේ, එම තුරු ලතා ගැන ඔවුන්ට හැකි අයුරෙන් කියා දීම සහ, ඒ තුරු ලතා ගැන තව දුරටත් ඉගෙන ගැනීම මගේ ලොකුම විනෝදාංශයක් වේ.
ඉහත කී භූත කතන්දර නිසා මගේ කුඩා ඉඩමේ සෑම තැනකම ඔහුව එක් කරගෙන ගියෙමි. ඔහු කියන අන්දමට මේ ස්ථානයේ නම් භූතයන් හෝ රකින්න නිධාන නැත. එහෙත් ඉඩමට උතුරු දෙසින් ඇති කැලෑ බූටෑවෙන් මායිම්ව ඇති දැවැන්ත ගල් කුළක ‘සීතල භූතයෙක්’ ඇති බව ඔහු කීවේය. එය ඔහුගේ වචන වලින් මෙසේ විය. “Very powerful watery spirit”. ඔහුගෙන් මට ඇති කරදරයක් නැති බවද, මේ පළාත එම භුතයාට අයිති බවද පැවසීය. කුමක්දෝ හේතුවකට එම ගල් කුළ අසල කැලෑව ඉතාමත් සීතල වේ. ඉහත කී බලවත් සීතළ භූතයා, පළාතද නකල්ස් නිම්නයේ සඟවා ඇති මිළ කල නොහැකි නිධාන හතරක්ද රකින බව ඔහු කියන්නේය.
අවුරුදු දෙතුන් සීයක් පැරණි, මේ කැලෑවැට නුදුරුව, නම නොදන්නා එක්තරා දැවැන්ත වෘක්ෂයකට මේ පළාතේ දෙමළ මිනිසුන් පුද පූජා පවත්වති. එය උඩ ගස් නිවාසයක් [Tree house ] එකක් තැනීම සුදුසුද යන්න ඔහුගෙන් ඇසීමේදී, එය කල යුතු නැති බවද, එසේ කිරීමට මේ භූතයා කිසි සේත් ඉඩ නොදෙන බවද ඔහු කීවේය. භූතයා කෙසේ වුවද, අවට දෙමළ මිනිසුන්ගේ හිත හොඳ නැති කරගැනීමට අනවශ්‍ය නිසා ඒ අදහස පසුව අත හැර දැමුවෙමි. එය බෞද්ධ පරිසරයක බෝ ගහක ‘ගස් නිවාසයක්’ හදන්න යෝජනා කළා මෙන් විය.
ඉහත කී ගල් කුළ අසබද, හිරුඑළිය ඇතැම් තැන්වලින් මහ පොළොවට යාන්තමට වැටේ. එනිසාම වනය පුරා කිසියම් අඩ අන්ධකාරයක් සහ සීතලක් රැඳී තිබේ. වනය වෙතින් ඇසෙන කන බිහිරි කරවන තරමේ රැහැයියන්ගේ හඬත්, වනයට නුහුරු හඳුනාගත නොහැකි සතුන්ගේ හඬත් වනය කන වැකේ. ගෙයක් දොරක් නැති, පාරක් නැති, පාළු වනයක් හැටියට මේ මහා රූස්ස කැලය පවතින්නට ඇත. දැවැන්ත ගල් දොරක් ඇරෙන ශබ්දය ඇසුණු අය මේ පළාතේ සිටී. මේ සියල්ල සිදු වන්නේද, මිනිසුන්ට මෙහි රඳන්න නොහැකි වන්නේද, මේ භුතයාගේ බලපෑමෙන් යන්න ඔහුගේ මතයයි.
භූතයා කෙසේ වුවද, මේ පළාතේ මිනිසුන් නම් රඳන්නේ නැත. රඳන එකම මිනිසා, මා වෙන්නට ඇත්තේ භූතයා සමඟ අතීත සම්බන්දයක් ඇති නිසා වෙන්නට පුළුවන. මනස්කාන්ත කඳු හෙල් ගංගා සහ දිය ඇලි තිබුනද, සතියකට වඩා මේ පළාතට එන නාගරික මිනිසුන්ට ඉන්නට නොහැක්කේ උසුලන්නට බැරි පාළුව සහ හුදෙකලාව නිසා යයි සිතමි.
දැනට මේ කියූ කතා අමූලික පට්ට පල් බේගල් යයි සිතමු.
දැන් ඔබට මා කියන්න යන්නේ වෙනත් කතාවකි. ඉහත කී මට අයත් කුඩා ව්‍යාපාර ස්ථානයට පැමිණෙන අය මා සඳහන් කල කැලෑවට යති. මහ දවාලක වුවද ඝන අන්ධකාරයක් ඇති මේ ගල් කුළ අවට කැලෑවේ ඇවිදින විට, ඇඟේ හිරි ගඩු පිපෙන බව කීප දෙනෙක් කියා ඇත. මාද එය අත්විඳ ඇත්තෙමි. සමහර විට එය ඒ පළාතේ සීතල නිසා වෙන දෙයක් යයි සිතමු.
එහෙත්, මන මෝහනීය කැලෑවෙන් ඔබ මෝහනය වනු ඇත. මිනිසුන් නැති කැලෑවට රාත්‍රියට වැටෙන සඳ එළිය දෙස, වැහි වළාකුළු නැතිවිට පෙනෙන අනන්ත තාරකා දෙස, සුළඟ වැදී වැළපෙන සබුක්කු ගස් දෙස, ඔබ ඇසි පිය නොහෙලා බලා සිටිනු ඇත. එසේ නැත්නම් ඒ කැලෑවේ පිහිටෙන් මේ පළාතේ ජීවත් වන දුක්ඛිත මිනිසුන්ගේ ජීවිත දෙස ඔබ සානුකම්පිතව බලනු ඇත. ඈත දිගන්තයේ වළාකුළු අතරින්, හන්තාන කඳු සහ නකල්ස් කඳු එකිනෙක වැළඳ ගන්නවා ඔබ දකිනු ඇත. ඒ හුදෙකලාවේ මිදුණු සුන්දර බව, මිනිසුන් පමණක් දකින්නට කැමති යයි ඔබ සිතන්නේද ?
එසේ නම් ඔබ වැරදිය.
ඉහත සඳහන් කල ළමයා මෙන්ම තවත් හිතවතෙක් දනිමි. අප ඔහුට ‘ආරච්චි’ කියා කියමු. මේ දෙදෙනා කිසිම අයුරකින් එකිනෙකා ගැන දන්නා හෝ එකිනෙකාට සම්බන්ද අය නොවේ. ආරච්චිව පළමු වතාවට මගේ ව්‍යාපාර ස්ථානයට කැටුව ගියෙමි. මුලින් කලාක් මෙන් ඔහුවද සෑම තැනකම එක් කරගෙන ගියෙමි. කිසිම වෙනසක් නැතිව ඉහත කී ළමයා කියූ දේම ඔහුද කියන්නේය. ඔහු වැඩියෙන් කීවේ එක දෙයකි.එනම් නකල්ස් කඳු වැටියේ සඟවා ඇති පරිවාර නිධාන හතරක් සහිත නිධානයක් මේ භූතයා විසින් රකින්නේය යන්නය.
කිසිදා නොදුටු, හමු නොවුණු දෙදෙනෙක්ට එකම ආකාරයේ බේගල් කීමට හැකිද යන්න ගැන සැක පහළ වේ. කෙසේ වුවද මම නම් හිතන්නේ, මේ භූතයා රකින නිධාන කුමක් වත් නොව, නකල්ස් කඳු වැටියේ ඇති උසම කඳු හතර යන්නය. එය ලංකාවේ මේ පළාතේ වර්ෂාපතනය සඳහා විශේෂ මෙහෙයයක් කරන බව පෙනේ. දුම්බර නිම්නයෙන් බටහිර ප්‍රදේශය තෙත් බවටද, ජල ධාරාද එමෙන්ම දුම්බර නිම්නයෙන් නැගෙනහිර වන හුන්නස්ගිරිය ප්‍රදේශයට වියළි බවක් ඇති කරන්නේද මේ කඳු පන්තියෙන් දිශානත වන වළාකුළු වලිනි. එසේ හෙයින්, මේ නකල්ස් හෙවත් දුම්බර නිම්නය ලංකාවට නම් මිළ කල නොහැකි නිධානයකි.
මේ අතරේ තවත් කුඩා කාමරයක් තැනීමට ගිය අවස්ථාවේ, එය කරන්නට ගිය සේවකයන්ට යම් යම් කරදර කීපයක් සිදු වූ හෙයින්, මගේ පව්ලේ හිතවතුන්ගේ බල කිරීමට වාස්තු විශේෂඥයෙක් සහ භූත ඇදුරෙක් මේ ස්ථානයට එක් කරගෙන ගියෙමි. රත්තරන් සුරයක් ඇති පවුම් දහයක පමණ මාලයක් පැළඳි ඔහුව වත්තේ පහළ ඇති ගඟෙන් තැනෙන පොකුණකට කැටුව ගියෙමි. ඒ ස්ථානයේ නාන විට එම මාලය පොකුණට කැඩී වැටිණි. එය සොයා ගන්නට නොහැකි විය.
එම ඇදුරා කියන ආකාරයට නම්, මේ ස්ථානය රත්තරන් සහ මැණික් ආකර්ෂණය කරන තැනකි. එනම් එසේ වන්නේ, තව තවත් රත්තරන් සහ මැණික් මේ ස්ථානයට නුදුරේ ඇති බව හෙයින්ය යන්න ඔහුගේ නිගමනය විය. පුදුමයකට මෙන් ඔහු ඒ සුරය සහිත මාලය නැතිවුණාට එතරම් දුක් වුනේ නැත. ඒ මාලය ඔහු මිළ දී ගත්තද, එය අයිති නැති බවද, එය අයිති තැනට එය ගිය බව පමණක්ද කීවේය.
මේ ගැන ආරංචි වූ, පිහිනුම් ශුරයන් කිහිප දෙනෙක්, අඩි දහඅටක් විස්සක් පමණ ගැඹුරු ජලාශයේ පත්ල පිරික්සා බැලුවද, එම මාලය සහ සුරය සොයා ගන්නට නොහැකි විය. අඩි සිය ගණනක් මුහුදේ කිමිදෙන, පිහිණුම් විශේෂඥ, මගේ හිතවත් චතුර කුඩච්චි හෙවත් ‘ගාල්ලේ යකා මහත්තයා’ මේ පොකුණේ අඩි විස්සක් ගැබුරු ස්ථානය පිරික්සා බැලීමට පසු බට විය. හේතුව ඔහු කීවේද නැත. ඔහු යමක් දැනෙන බව පමණක් කීවේය.
ඉන් පසුවද මේ ජලාශයට පිහිනන්න ගිය අයගේ රත්තරන් මාල නැති විය. එකක් වත් නැවත සොයා ගන්නට නම් නොහැකි විය. මේ ජලාශය අවුරුදු දහස් ගණනකට පෙර කෘතිමව තැනූ ජලාශයක් යන්න ඔහුගේ අදහසය. කුමක් නිසා මේ ජලාශය ආශ්‍රිත ගල් වලට ජ්‍යාමිතික හැඩ තල ලැබුණේද යන්න ගැටළුවකි. මෙතෙන්ට ගිය හිතවත් ‘කවිඳු පතිරණ’ මහතා අලුත් ගල් ගුහාවක් සොයා ගත් අතර, එය දෙදෙනෙක්ට පහසුවෙන් නිදා ගත හැකි ආකාරයේ, එසේ නැත්නම් හතර දෙකෙට පමණ හාන්සි වී සිටිය හැකි ගුහාවකි.
දැන් මම ඔබට කියන්න යන්නේ, නකල්ස් ප්‍රදේශයට සම්බන්දයක් නැති කතාවකි. එනම් මේ පින්තුරයේ දමා ඇති පඩි පෙළ ගැනය. මේ පඩි පෙළ ඇති ගොඩනැගිල්ලට යාබදව මා හිතවත් යහළුවෙක් නොබෝ දිනකදී වාහන ගරාජයක් විවෘත කරන ලදී. එම ගොඩනැගිල්ල සම්පූර්ණ කරගන්නට නොහැකිව අවුරුදු පහළොවක් පමණ පාළුවට හැර දමා ඇති තැනකි. කිසි කෙනෙක්ට එය විකුණාගන්නටද නොහැක.
එය විවෘත කරන දිනයේ එයට සහභාගී වීමට දින කිහිපයකට පෙර එතෙන්ට ගිය මට, ඒ ස්ථානයේ සිටි තවත් කෙනෙක් කියූ ආකාරයට, එම ගොඩනැගිල්ල ශාපලත් භූමියකි. ප්‍රේතයන් බන්ධනය කර ඇත. මේ ස්ථානයට හූනියම් කර ඇත.
ඉන් පසු දිනෙක, එම ගරාජය විවෘත කරන අවස්ථාවේ, මමද ඉහත විස්තර කල මගේ හිතවතා වූ ‘ආරච්චි’ සමඟ ගියෙමි. අප ඒ ස්ථානයට ලඟා වූයේ උදේ නවයට පමණ විය. ඔබ දකින පඩි පෙලේ පෙරේතයන් තුන් දෙනෙක් එකට හිඳ ගෙන සිටින බව ‘ආරච්චි’ කිව්වේය. සුදු පැහැ භූතයන් තිදෙනෙක් සහ රතු පැහැ භූතයෙක් සිටින බව ඔහු කීවේය. භූතයන් රතු පැහැ වෙන්නේ, ඔවුන් අමනාපයෙන් සිටින විටදී යන්න ඔහු කියයි.
ඔහු මෙවැනි දේවල් කියන බව, ඔහුගේ මිතුරන් දනිති. නමුත් මේ භූතාත්ම හිරු එළිය වැටෙන විට එම ස්ථානයෙන් ඉවත් වෙන බව ඔහු කියා සිටියේය. පෙරේතයන් හිරු එළියට අකමැතිය. මේ පෙරේතයන් ඉහත කී දුම්බර නිම්නයේ සිටින මගේ හිතවත් භූතයන්ට වඩා අවාසනාවන්තයන් වේ.
එහෙත් දහවල හිරු නැගෙන අවස්ථාවේ පවා ඒ භූතාත්ම, එම ස්ථානයට කරන ලද සූනියමක් වැනි දෙයක් නිසා අකැමැත්තෙන් රැඳී සිටින බව පසුව ඔහු විසින් කියන ලදී. එම භූතාත්ම හිරු එළියේ බැඳ තබා ඇති බව ඔහුගේ නිගමනය විය. මේ වෙලාවේ එම භූතාත්ම හතරම, රතු පැහැයෙන් දිලිසෙන්නේය යන්න ඔහු කියයි.
එවැනි පීඩාවෙන් සිටින භූතාත්ම වලින් වන කරදර වැඩි බව ඔහු කියයි. සාමාන්‍ය අයට පඩි පෙළක් හැර වෙන දෙයක් එහි නොපෙනේ. නමුත් ගම් වැසියෙක් සහ, ආරච්චි යන එකිනෙකා නොදන්නා දෙදෙනෙක් කියන එකම දෙය මෙතනත් කියැවුණි.
කෙසේ හෝ මේ පඩි පෙළ දෙස බලන්න.
ඔබටත් ඒ භූතයන් පෙනේද ?

No comments:

Post a Comment