Friday, October 16, 2015

බෆල්






බොහෝ කලකට පෙර මා විශේෂ කාර්ය බලකායේ සේවය කරන සමයේ, වරින් වර කුඩා කඳවුරක් භාරව කටයුතු කලෙමි.කඳවුරක් යැයි කීවත් එතන තිබුනේ කටු මැටි ගොඩනැගිලි තුනකි....ඒ වටා යුධ අගලක් කැන තිබීමෙන් එය යුධ කඳවුරක් බවට පත්කර තිබුණි. අප සාමාජිකයන් 15 දෙනෙකු පමණ සිටි අතර අමතරව අප විසින් "බෆල්" යනුවෙන් හඳුන්වන සන්නද්ධ රථයක් සහ එහි රියැදුරා සිටියේය.මා මෙම ස්ථානය බෙහෙවින් ප්‍රිය කලත් අපගේ වෙනත් උප පොලිස් පරීක්ෂක වරු මෙතනට පැමිණීමට එතරම් ප්‍රිය කලේ නැත.එයට ප්‍රධාන හේතුව වුවේ මෙහි පවතින හුදකලා ස්වභාවයයි..එක් වකවානුවක බෆල් රථය භාරව සිටියේ මැදිවියේ රියදුරෙකි.ඔහු නිතරම කල්පනා බරව සිටි අයෙකි.එක් දිනකදී ඔහු මා අමතා, තමන්ට හෘදයාබාද තත්වයක් සුළු වශයෙන් පවතින බවත්,යම් ලෙසකින් ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාවක තමන්ට රථය පැදවිය නොහැකි තත්වයකට පත්වුවහොත් සන්නද්ධ රථය සතුරන් අත පත්වීම වලකා ආරක්‍ෂිත තැනකට රැගෙන යාමට හැකි දැයි විමසුවේය.මම නොපැකිලව එකඟ වූවෙමි.රියැදුරු තැන මට යෝජනා කලේ මෙම රථය පැදවීම පුහුණු වීම වඩාත් හොඳ බවයි...මට එකල බරවාහන පැදවීම සඳහා වූ රියැදුරු බලපත්‍රයක් තිබුණද පොලිස් වාහන පැදවීමට කිසිදු නීතිමය අවසරයක් නොතිබිණි...උසස් නිලධාරියෙකුගේ නෙත ගැටේ යැයි චකිතයක් තිබුනද මා රථයේ කුඩා රියැදුරු කුටියේ අසුන් ගත් අතර රියැදුරා,රියැදුරු කුටියට ඇතුල්වෙන දොරටුවේ වූ ඉණි මඟේ එල්ලී සිටිමින් උපදේශක කටයුත්ත කළේය...සැබවින්ම රථය පැදවීම ඉතා පහසු දෙයක් විය.රථය ඉතාමත් බරපතල පෙනුමකින් යුතු වූවත් සැහැල්ලු වෑන් රථයක් පැදවීම තරම් පහසු විය...දෙවැනි දවසේ දහවල් කාලයේදී නැවතත් අපගේ පුහුණුව ආරම්භ වූ අතර රියැදුරා මෙවර සිටියේ රථයේ පිටුපස බක්කියක් වැනි කොටසේය.බෆල් රථය කඳවුරේ සිට ප්‍රධාන මාවත දෙසට වූ ගුරු පාර දිගේ ධාවනය කරමින් සිටියදී අපගේ මුහුණට මුහුණලා හමුවූවේ අපගේ සහකාර පොලිස් අධිකාරී මහතාගේ ජීප් රථයයි.මට දෙවියන් සිහිවිය... අපි දෙදෙනාම ජීප් රථය ඉදිරියට ගොස් සහකාර පොලිස් අධිකාරී මහතාට නිල ආචාර කළෙමු.මා කිසිවක් කියන්නට පෙර රියැදුරා පැවසුවේ තමන්ට හදිසියේ හෘදයාබාද තත්වයක් ඇති වූවහොත් රථය ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යාමට අවශ්‍ය පුහුණුවක් මා හට ලබාදුන් බවයි..නීතිය අකුරට ක්‍රියාත්මක කරවන බෙහෙවින් සැර පරුෂ සහකාර පොලිස් අධිකාරී වරයා අප වෙනුවෙන් වචනයක් හෝ නාස්ති නොකළේය.ඔහු තම රියැදුරා අමතා "ආපසු හැරී යමු යැයි" පවසා නික්ම ගියේය.රියදුරා සහ මා ලතවෙමින් සිටියේ අපගේ රැකියාවන් සම්බන්ධවයි......පසුදා සිට අපගේ රියැදුරා වව්නියාව නගරයේ කඳවුරට අනුයුක්ත කල අතර ඔහු වෙනුවට බෙහෙවින් ක්‍රියාශීලී තරුණ රියදුරෙකු බෆල් රථය වෙනුවෙන් පත්ව පැමිණියේය...මට කිසිදු ප්‍රශ්ණයක් ඇති නොවුනද නැවත රජයේ වාහන පදවන්නට උත්සාහ නොකලෙමි...

බුකියට ලියුවේ චමින්ද ජයසේන

Saturday, May 23, 2015

Yakov Dzhugashvili



ජෝසෆ් ස්ටාලින් ( 1878_1953) සෝවියට් රුසියාව අයෝමය හස්තයකින් පාලනය කළේය.ඔහුගේ මරණින් පසුව සෝවියට් සංගමය විසින්ද ඔහුගේ පාලනය පිලිබඳ විවේචනයක යෙදුනු අතර,ස්ටාලින් යුගයේදී විප්ලවයේ ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා දණ්ඩනයට ලක්කර මරා දැමු ඇතැමුන්ගේ ද්‍රෝහී භාවය ඉවත් කරන ලදී.ඔහුගේ ජීවිතය තුල බොහෝ අඳුරු ලප තිබුනද,ඒ ජීවිතය තුල ඉතාම සංවේදී සිදුවීම්ද තිබුණි........... Yakov Dzhugashvili ඔහුගේ පුත්‍රයෙකි ඔහු දෙවන ලෝක මහා සංග්‍රාමයේදී සෝවියට් දේශය වෙනුවෙන් සටන් පෙරමුණට ගියේය.තම පියාගේ අති මහත් බලය යොදාගෙන සුවපහසු ජීවිතයක් ගත කල හැකිව තිබුනද ඔහු ඒ මඟ නොගත් අතර ඔහුගේ පියාද තම පුත්‍රයා වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් නොදැක්විය.1941 වසරේ දී ඔහු සතුරු ජර්මන් හමුදා අත් අඩංගුවට පත්විය.ඔහුගේ අනන්‍යතාවය හඳුනාගත් ජර්මානුවන් විමතියට පත් විය. මෙම ඇති විශේෂ යුධ සිරකරුවා යොදාගෙන ජර්මානුවන් සෝවියට් යුධ සැලසුම් අඩාල කිරීමට තැත් කලද එය අසාර්ථක විය.ජෝසෆ් ස්ටාලින් තම පුතුගේ ජීවිතය අභියස වුවද යටත් නොවූ ස්ථාවරයක සිටි අතරම ඔහුගේ පුත් ලුතිනන් YAKOV ද ජර්මානුවන්ට අවශ්‍ය ලෙස ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කළේය...1943 වසරේ ලුතිනන් yakov තමා සිරගත කර සිටි Sachsenhausen රැඳවුම් කඳවුරේ විදුලි වැටට පැන සියදිවිනසා ගැනීමට දිව යද්දී ජර්මන් රැකවලෙකු තැබූ වෙඩි පහරකින් මිය ගියේය........

Friday, April 17, 2015

දකුණු අප්‍රිකාවේ MGL



ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව කුඩා ප්‍රමාණයේ කොටි කඳවුරකට පහරදීම සඳහා එක්තරා දිනයක අළුයමින් අපගේ කණ්ඩායමක් පිටත් වූ අතර,පොඩි පහේ මුලාදෑනියෙක් ලෙස මටද කණඩායමක වගකීම පැවරී තිබුණි..ඒ ගමනේදී මගේ සහායකයා මෙන් කටයුතු කල අප සාමාජිකයා සමඟ මෙම සේයාරුවට පෙනී සිටියෙමි..සැබවින්ම කිවහොත් අප දෙදෙනා එකිනෙකාගේ සහායකයන් මෙන් කටයුතු කල බව කිවයුතුය...එකල අද මෙන් ගූගල් සිතියම් නොතිබූ සේම හමුදාවට මෙන් ඩ්‍රෝ න් යානාවල සහයද අපට තිබුනේ නැත...බොහෝ දුරක් ගෙවා අදාළ ස්ථානයට පැමිණි මුත් අපට කොටි කඳවුරක් දක්නට නොලැබුණි..ඒ වෙනුවට දක්නට ලැබුනේ ඉතාම හොඳ තත්වයේ නිවාස සහ වෙළඳ සැල් පිහිටි පෙදෙසකි....කෙසේ වෙතත් අපි මේ නිවාසයන් සහ වෙළඳ සැල් ඉතා වේගවත්ව සෝදිසි කළෙමු.ඒ අතරේ අප ආසන්නයෙන්ම විශාල පිපුරුම් හඬක් ඇසුණු අතර අපගේ කණ්ඩායමේ සිටි නිරීක්ෂකයෙකු දැනුම් දුන්නේ අප දෙසට ට්‍රැක්ටර් කිහිපයක් එන බවයි.සතුරාට සියලුම ආකාරයේ පහසුකම් තිබූ එම ස්ථානයෙන් වේගවත් පසුබෑමක් කරනු විනා වෙනත් විකල්පයක් අපට නොතිබුණි...අප බොහෝදුරක් වේගවත් පසුබෑමක නිරතවූ බව කීම ලැජ්ජාවට කරුණක් නොවේ.යුද්ධයේ ස්වභාවය එසේය...අවසානයේ ආරක්‍ෂිත යැයි හැඟුණ පෙදෙසකට පැමිණි පසු අපට වෙහෙස නිවාගැනීමේ ඉඩක් ලැබුණි....ජායාරූපය ගත්තේ ඒ මොහොතේය..ජායාරූපයේ අප දෙදෙනාට පිටුපසින් ඇත්තේ දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය කල මිලි මීටර් 40 ප්‍රමාණයේ බෝම්බ විදිනයකි (MGL)...දකුණු අප්‍රිකාවේ පාලනය අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය භාර ගත් විට මෙම ආයුධ අප රටට නොලැබී ගිය බව කිව යුතුය..

Thursday, March 26, 2015

මඩුරෝඩ්





යුධ ජයග්‍රහණයේ සැමරුම් පිළිබඳව විවිධාකාරයේ අදහස් හුවමාරු වන නිසා එයට මගෙන්ද සුළු දායකත්වයක් සැපයිය යුතුයි යන අදහස ඇතිව මෙම ජායාරූපය පිළිබඳව කෙටියෙන් යමක් කියමි....කෙසේ වෙතත් අප අයත් වූවේ බොහෝ මරණයන්,තුවාලකරුවන් බහුලවූ පසුබෑම් සහිත ජයග්‍රහණයේ පියවරු නොමැති පැරණි යුධ කුලකයට නිසා අපගේ අදහස් වල වැදගත්කමක් ඇතැයි කියා සිතන්නේ නැත...සමහර මුහුණු පොත් සංවාද වලදී අපට කියන්නේ අප යුද්ධය පාවාදුන් සිංහල කොටියන් බවයි...යුද්ධය මෙතරම් කල් දිගට ඇදුණේ අප වැනි නොවැදගත් මිනිසුන් නිසාලු....කැනඩාවේ සුවපහසුවෙන් ජීවත්වන මහත්මියක් මේ බව ප්‍රකාශ කලේ ඇයගේ මතය මා නොපිළිගත් නිසාය..... මෙම ජායාරූපය 1999 වසරේ මැද භාගයේ පමණ ගත් එකකි..තවත් වසර දහයක් ඇවෑමෙන් යුද්ධය අවසන් වන බව එකල අප දැන සිටියේ නැත...අප එකල සේවය කලේ මඩුපාර විශේෂ කාර්ය බලකා කඳවුරේය..මන්නාරම අගරදගුරු තුමා හමුවීමට ගිය ඇමති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා වෙනුවෙන් අප මාර්ග සෝදිසියක යෙදුනු අතර ඒ කටයුත්ත අවසානයේ කඳවුර අසල වූ මෙම නාම පුවරුව ඉදිරිපිට මෙම ජායාරූපය ගැනීමට විශේෂ හේතුවක්ද තිබුණි....ඒ වන විට අපගේ මඩුපාර කඳවුර ගලවා මන්නාරම සිලාවතුර ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක නැවත ස්ථාපිත කිරීමට නියෝග ලැබී තිබුණි...ඒ සමුගැනීම වෙනුවෙන් මෙම සේයාරුව ගැනිණි....මෙම ජායාරූපයේ තවත් අතුරු කථා තිබේ...මා නිල ඇඳුමින් සැරසී ලබා ගත් අවසාන සේයාරුව මෙයයි..එසේම මිනිසෙකු ලෙස දෙපයින් සිටගෙන මුහුණ දුන් අවසන් ජායාරූපයද මෙයයි....එසේම ජායාරූපයේ ඔබේ වම් අත පැත්තේ පෙනී සිටින අප සාමාජිකයන් දෙදෙනාම මියයන්නේ මා මුහුණ දුන් ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයෙනි....ජයග්‍රාහී යුද්ධයට මාවත සැකසීම වෙනුවෙන් අපගේ රුධිරයද මහපොළවට එක්වූ බව බොහෝ දෙනා නොසිතති....

බුකියේ ලියුවේ චමින්ද ජයසේන

ලුද්මිලා



ලෝකයේ විශිෂ්ඨතම ස්නයිපර් තුවක්කු කාරිය ලෙස සැලකේ.මිනිස් ඝාතනය උත්කර්ෂණයට නැංවීම යහපත් දෙයක් නොවුනත් ස්නයිපර් කරුවෙකුගේ විශිෂ්ඨතාවය සලකන එක් මිම්මක් වන්නේ ඔහු හෝ ඇය විසින් මරා දමනු ලබන සතුරු සෙබළුන් ප්‍රමාණය මගිනි.ඒ අනුව ලුද්මිලා විසින් ඝාතනය කරනු ලැබූ සතුරු සෙබළුන් ප්‍රමාණය 309 වන අතර ඒ අතරට සතුරු ස්නයිපර් කරුවන් 36 ද ඇතුලත්ය.ඇය 1916 .7.12වනදින යුක්රේනයේ උපත ලබන අතර.ළමා වියේදීම රයිෆල් සංගමයකට බැදී වෙඩි තැබීමේ හැකියාවට මුල පුරයි.ඇය 1941 වසරේ kiev සරසවියේ ඉගනුම ලබමින් සිටියදී ජර්මනිය විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කල නිසා සෝවියට් හමුදාවේ 25 වන රයිෆල් බලකායට එක්වූවාය.කිහිප වතාවක්ම තුවාල ලැබුවත් 2වන ලෝක යුද්ධය අවසන් වනතුරුම ඇය ස්නයිපර් වරියක් සහ පුහුණු උපදේශක වරියක් ලෙස සේවය කලාය.යුද්ධය අවසන් වීමෙන් පසු තම සරසවි අද්‍යාපනය නැවත ආරම්භ කලාය.ඇය 1945 සිට 1953 දක්වා සහකාර පර්යේෂණ නිලදාරිනියක ලෙස සෝවියට් නාවික හමුදාවේ සේවය කලාය.ඉන් පසු කාලයේ යුධ ප්‍රවීනයන් ගේ සුභ සාධනය පිණිස කැප වුවාය.ඇයට වයස අවුරුදු 58 ව තිබියදී 1974.10.10 වන දින මිය ගියාය.


බුකියෙ ලියල තිබුනෙ චමින්ද ජයසේන