Monday, November 27, 2017

වේග පාගමන් පුහුණුව



දිවා ආහාරයෙන් පසු මහ දහවලේ යෙදෙන්නට සිදුවන වේග පාගමන් පුහුණුව විශේෂ කාර්ය බලකායේ පුහුණු අංග වලට ඇතුලත්ව ඇත.මෙය සාමාන්‍යයෙන් කලින් නොදන්වා හදිසියේ කරන ක්‍රියාවලියකි.ඉන් බලාපොරොත්තු වන්නේ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීමයි.සැතපුම් 15 ක පමණ දුරක් ගමන් කලයුතු මෙම වේග පාගමන් සිරුරට ඉතාම වෙහෙසකරය,එසේම අවදානම්ය..අපගේ පුහුණුවේදී මුල්වරට යන්නට සිදුවූ වේග පාගමන මට හොඳින් මතකයේ ඇති සිදුවීමකි.එදින කිලෝග්‍
රෑම් 15 ක පමණ බරක් සහිත උරමළු පිටෙහි බැඳගෙන අවි ආයුධ සහිතවම පුහුණු කඳවුරේ ප්‍රධාන දොරටුවෙන් පිටවී මහා මාර්ගයට අවතීර්ණ වූවෙමු..අප සියළු දෙනා අට දෙනාගේ කණ්ඩායම් වලට බෙදා තිබුණි..දහවලේ ප්‍රචණ්ඩ හිරු රැසින් දැවෙමින් ඉදිරියට ගමන් කළෙමු.කවදත් අධික උෂ්ණත්වයට සංවේදී පුද්ගලයෙකු වූ මගේ ජල බෝතල් දෙකම ගමනේ මුල් අඩ තුලදී අවසන් විය.ආත්මාර්ථකාමී ක්‍රියාවක් වුවත් කණ්ඩායමේ අනෙකුන්ගෙන් වරක් දෙවරක් ජලය ස්වල්පයක් ඉල්ලාගෙන පානය කලෙමි.නමුත් එය දිගට කල හැකි දෙයක් නොවේ අනෙකුන්ද සිටියේ අධික ලෙස වෙහෙසට පත්වීය.මට දැනුනු පිපාසයකොතරම් දැඩි දැයි කිවහොත් පාර දෙපස ඇති කුඹුරකට පැන එහි වැතිරී, ඒ ජලය පානය කරන්නට සිතුනි..

දෙවනුව මට සිතුනේ වරින් වර අප පසුකරගෙන යන අපගේ ගිලන් රථයේ නැගී ගොස් පුහුණුව අතරමඟ නවතා දමන්නටයි. නමුත් එය සිදුකළහොත් නැවත දිනක තනියම හෝ නැවත මෙම පා ගමන යන්නට සිදුවන නිසා ඒ අදහසද යටපත් කර ගතිමි..ඉදිරියට ඇදෙන මට මඳ ඔල්මාද ගතියක් ඇතිවී ඇති බව දැනුනි.සාමාන්‍යයෙන් මා නොකියන අසැබි වදනක් දෙකක්ද මුවින් පිටවිය..මට අවශ්‍ය වී තිබුණේ ජලයයි..ඒවා පල් වතුර වුවද කමක් නැත...මෙසේ අප ඉදිරියට ඇදෙමින් සිටි අතර හදිසියේම මා දුටුවේ දිය කළයක් උකුලේ තබාගෙන අඩිපාරකින් මහපාරට ගොඩවෙන තරුණියකි....ජීවිත කාලය පරාම මා වරින් වර ඉගෙන ගෙන තිබූ විනය,සදාචාරය,ලැජ්ජාව ආදී හැගීම් ඒ මොහොතේ මගෙන් ඉවත්වී තිබුණි..මා ගල් යුගයේ ප්‍රාථමික මිනිසා බවට පත්ව සිටියේය...කිසිවෙකුටත් සිතා ගන්නට නොහැකි තරම් වේගයෙන් අදාළ තරුණිය ලඟට දිව ගියෙමි..ඈ මා දෙස වික්ෂිප්තව බලා සිටියදී මා කියන්නට ඇත්තේ " දීපං නංගී කල ගෙඩිය" වන්නක් වියයුතුය.ඇයගෙන් කළය අතට ගත් මා, ජලය සිරුර දිගේ වෑස්සෙද්දී ජලය පානය කරන්නට විය.පුහුණු උපදේශකයන් අප වෙත දිව එන විට මා ගවයෙක් බොන තරම් ජලය ප්‍රමානයක් පානය කර තිබුණි...


පුහුණු උපදේශකවරු පිරිස මා දැඩි දෝෂදර්ශනයට ලක්කළ අතර ඔවුහු අදාළ තරුණියගෙන් සමාව ඉල්ලුහ.පියවි සිහිය ලැබී සිටි මමද ඇ යගෙන් සමාව ඉල්ලා සිටියෙමි..ඇය පැවැසුවේ මාහට ජලය ලබාදෙන්නට සිදුවීම අැයට මහත් සතුටට කරුණක් බවය..පුහුණු උපදේශක පිරිස පැවසුවේ මා පිළිබඳව උසස් නිලධාරීන්ට දැනුම් දෙන බවයි. එය පිලිගනිමින් මා පැවසුවේ මා හට ගිලන් රථයෙන් ගොස් පුහුණුව අතරමඟ නවතා දමන්නට නොහැකි නිසා මෙම තීරණය ගත් බවයි. නැවත කණ්ඩායමට එකතු වූ මට කිසිවෙකු සරදම් සහගත බැල්මක් වත් හෙළුවේ නැත..තවත් යම් දුරක් ඉදිරියට ගිය විට අපට කිසියම් සිසිල් බීමක් පානය කරන්නට ලැබුණු අතර හිස්ව තිබු ජල බෝතල් වලට ජලය පුරවා ගන්නටද ඉඩ ලැබුණි...

අවසානයේ අනෙක් සියළු දෙනා සමඟ මාද අපගේ පළමු වේග පා ගමන නිමා කල අතර කාරුණික පුහුණු උපදේශක වරු මා කල විනය විරෝධී ක්‍රියාව ගැන උසස් නිලධාරීන්ට පැමිණිලි කලේද නැත..පසුව තවත් කිහිප වරක්ම මෙවැනි ආකාරයේ දහවල් කාලයේ යෙදුනු පා ගමන් වල යෙදුනු මුත් මුල්ම පාගමනේදී මට සිදුවූ අකරතැබ්බයන්ට නැවත මුහුණ දෙන්නට සිදුවුනේ නැත...ඒ වන විට මගේ දරා ගැනීමේ ශක්තිය වර්ධනය වී තිබෙන්නට ඇත සේයාරුව ලබා ගත්තේ අන්තර්ජාලයෙනි...එහි පෙනී සිටින්නේ බ්‍රිතාන්‍ය කොමාන්ඩෝ සෙබල පිරිසකි

බුකියට ලියුවේ චමින්ද ජයසේන


🙂