Friday, July 14, 2017

වනගත සටන් පුහුණුව




පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලික පුහුණු පාඨමාලාව අවසන් වන්නේ වනගත සටන් පුහුණු පාඨමාලාවෙනි.විශේෂ කාර්ය බලකායේ 31 පුහුණු පාඨමාලාව හැදෑරු අප කණ්ඩායම 1996 වසරේ අවසන් භාගයේදී වන සටන් පුහුණු පාඨමාලාව හැදෑරීම පිණිස අම්පාර, පොතුවිල් ප්‍රදේශයේ ශාස්ත්‍රවෙල ප්‍රදේශයට පිටව ගියෙමු.කළුතර, කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ පංති කාමරයේ මුලින්ම හදාරන පාඩම් මාලාවන් කඳවුරු භූමියේදීම ප්‍රයෝගිකව අත්හදා බලන අතර එම පාඩම් මාලාවන් ගණනාවක් හැදෑරීමෙන් පසු මතුගම ප්‍රදේශයේ ජනශුන්‍ය ප්‍රදේශ වලදී පුහු උණ්ඩ
 යොදාගෙන ඒ පාඩම් මාලාවන් හදාරන අතර වන සටන් පුහුණු පාඨමාලාවේදී එම සියළු පාඩම් මාලාවන් ජීව උණ්ඩ යොදාගෙන තෙවන වරටත් පුහුණු වීම් කරුණු ලබයි.මීට අමතරව කළුතර වැනි ජනාකීර්ණ ප්‍රදේශ වල සිදුකල නොහැකි බර අවි පුහුණුව මෙම අවස්ථාවේ හැදෑරීමට හැකියාව ලැබෙයි.සැබවින්ම මෙම වනගත සටන් පුහුණුවේ ඇති රහස වන්නේ මෙම අවි ආයුධ පරිශීලනය කිරීම නොවේ.

ඉතාම දුෂ්කර තත්වයන් යටතේ ගත කරන්නට සිදුවන සතියක පමණ කාලය තුලදී පුහුණු ආධුනිකයෙකුට ලැබෙන ආත්මවිශ්වාසයයි....මෙම පුහුණුවේදී අප අතර තිබිය හැකි පුහු මාන්නය සුණුවිසුනු වෙයි.නිලධාරියා හා සෙබලා අතර නොතිබිය යුතු ආකාරයේ පරතරය අඩුවෙයි සේවා ගෞරවය යනු නිසඟයෙන් ලැබෙන දෙයක් නොව උපයා, සපයා ගතයුතු දෙයක් බව.දෙපාර්ශ්වයටම වැටහෙන්නට පටන් ගනියි.මෙම දුෂ්කර කාලය ආධුනිකයන් දෙදෙනෙකු එකතු වී සකස් කර ගන්නා කුඩා කූඩාරමක දිවි ගෙවන්නට සිදුවෙයි.මා සමඟ එක කූඩාරමේ ගත කලේ කොස්තාපල් වරයෙකු වූ සුගත්ය.ඔහු මා වෙනුවෙන් ඔහුගේ සුවපහසුව කැපකල බව සිහි කරන්නේ කෘතවේදීවය.වනගත සටන් පුහුණු පාඨමාලාවේදී අපට ලබාදෙන සීමිත ආහාර හා ජල සලාකයෙන් අපගේ පැවැත්ම රැක ගත යුතුය.

එම මුළු කාලයම ගත කරන්නට සිදුවන්නේ එකම නිල ඇඳුමක් හැඳගෙනය.අඩුම වශයෙන් බූට් පාවහන් යුගල හෝ ඉවත් කිරීමට අවසරයක් නොලැබෙයි.පුද්ගලික මා හට දරා ගන්නට ඉතාම අපහසු වූවේ මෙම අපවිත්‍ර ජීවිතයයි.සිරුරෙන් හමන් දුර්ගන්ධය නිසා මගේ සහායකයාට සිදුවන අපහසුතාවය ගැන මා තැවෙන විට මගේ සහායකයා මට පැවසුවේ තමන්ගෙන්ද ඌරෙකු මෙන් දුර්ගන්ධය හමන බවයි.සත්වන දිනයේ උදෑසන කාලයේ අපගේ පුහුණුව අවසන් වෙයි.අපගෙන් ඉවත් කර තිබූ පිරිසිදු කම නැවත ලබා ගන්නට සිදුවන්නේ මෙම අවස්ථාවේදීය හොඳින් දිය නෑමෙන් පසු පිරිසිදු නිල ඇඳුමින් සැරසී රසවත් දිවා ආහාරයක් ගැනීමේ වරම හිමිවිය.එදිනම සවස කළුතර බලා පිටව යන්නට සිදුවූනි.සියඹලාංඩුව පෙදෙස පසු වන තුරු කෙසේ හෝ අවදියෙන් සිටියෙමි.එතැන් පසු කළුතර කටුකුරුන්ද කඳවුරේ ප්‍රධාන දොරටුව පසු කරන තුරු මගේ ජීවිතයේ ලැබුණු සුවපහසුම නිද්‍රාවේ ගිලී සිටියෙමි.........වනගත සටන් පුහුණුවේදී අපට උපදෙස් ලබාදෙන අවස්ථාවකදී ලබා ගත් ජායාරූපයකි...


බුකියට ලියුවේ චමින්ද ජයසේන