Tuesday, June 14, 2016

ගෙම්බා



මම උසස් පෙලට ජීව විද්‍යාව හැදෑරුවෙමි. එක් දිනක අපට සත්ව විද්‍යාව ඉගැන්වූ විජේකෝන් ගුරු මහත්මිය දැනුම් දුන්නේ පසුදා පාසැල් එනවිට විච්චේදනය සඳහා ගෙම්බෙකු බැගින් රැගෙන එන ලෙසය.සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකක කාලයක් පමණයි යැයි කියා ඇත්තේ ප්‍රභාකරන් බව කථාවක් තිබේ නමුත් ඒ ප්‍රකාශය බොරු කරමින් පාසැල් ගේට්ටුවෙන් පිටතට යන විටම ගෙම්බා පිලිබඳ මතකය මගෙන් ගිලිහී ගියේය....පසුදා අළුයම මගේ පියා කිසිවෙකුට සාපකරනු ඇසී එදෙසට ගියෙමි.පියාට ගෙම්බෙකුගේ මලපහ පෑගී තිබුණු අතර එයට වගකිවයුතු විශාල ගෙම්බා නිවසේ ඉදිරි දොරටුව දෙසට ගමන් කරන බව දුටුවෙමි.පෙරදින ගුරු මහත්මිය ලබාදුන් උපදෙස සිහියට නැඟුනේ එවිටය..වහාම තරමක් විශාල බෝතලයක් සොයාගත් මම ගෙම්බා එහි සිරගත කලෙමි..වායු සංසරණය වෙනුවෙන් බෝතල් පියනේ සිදුරු කිහිපයක් ඇති කල අතර සත්වයාගේ සුවපහසුව වෙනුවෙන් තෙත පුළුන් ගුලියක්ද බෝතලය තුලට දැමුවෙමි..සත්වයාගේ අවසන් භෝජනය වෙනුවෙන් කුණිස්සන් කිහිපදෙනෙකු බෝතලය තුලට දැමීමට තරම් කාරුණික වීමි.ගෙම්බා රැගෙන යන හේතුව පියාට කියූ අතර ඔහු කිසිවක් ප්‍රකාශ කලේ නැත...පාසල් මිතුරන් පංති කාමරය තුලදී තම තමන් රැගෙන ආ ගෙම්බන් එකිනෙකාට පෙන්වමින් සිටි අතර මම ද ගෙම්බා සහිත බෝතලය බෑගයෙන් එලියට ගෙන පාසල් මේසය මත තබා,සත්වයා දෙස ඇස් මට්ටමින් නරඹමින් සිටියෙමි.ඒ මොහොතේ මගෙත් ගෙම්බාගේත් දෑස් එකට ගැටුණි.ඔහු තම පරිණත බුද්ධිමත් දෑසින් මා දෙස බලා සිටියේ සියල්ල තමා දන්නා බව අඟවමින් බව මට සිතුනි.එසේම ගැට සහිත විශාල ගෙඹි සිරුර දුටුවිට මා කල්පනා කලේ මෙලොව බොහෝ කලක් ජීවත් ඇතැයි සිතිය හැකි මේ සත්වයා මරා දැමීම අපරාධයක් බවය..

මා ඉගෙන ගත් පාසලේ විශාල මැද මිදුලක් තිබුණි..මගේ මතකය අනුව එහි විශාල රොබරෝසියා ගස් කිහිපයක්ද තිබුණි.එයින් එක ගසක් ආසන්නයේ විසිතුරු මසුන් සහිත පොකුණක්ද තිබුණි..කිසිවෙකුට නොදැනී පංති කාමරයෙන් පිටවූ මම පොකුණ අසබඩ දී ගෙම්බාව නිදහස් කලෙමි... කිසියම් දිනක ගැරඬියෙකු මුණ ගැසෙන තුරු මගේ ගෙම්බාට එතැන පාරාදීසයක් වන්නට ඇතැයි අදත් සිතමි.විද්‍යාගාරයේදී විජේකෝන් මහත්මියට බොරුවක් කීවෙමි.බස් නැවතුම් පොලේදී මිතුරන්ට ගෙම්බාව පෙන්වීමට ගත් උත්සාහයේදී සත්වයා පැන ගිය බව කීවෙමි..වැඩිපුර සුහද කථා බස් නොකරන ඇය මේ අවස්ථාවෙදී මහ හඬින් සිනාසෙමින් මට කීවේ කවුරුන් හෝ මිතුරෙකු සමඟ හවුල් වී අදාළ විච්චේදන කටයුතු කරන ලෙසයි..සැබවින්ම අවශ්‍ය තරමටත් වඩා ගෙම්බන් මරා දමා තිබුණු බව දුටුවිට මට කනගාටුවක් ඇතිවිය..කෙසේ හෝ මිතුරන් කිහිපදෙනෙකුගේ ගෙඹි නිදර්ශක ඔස්සේ අදාළ පාඩම හැදෑරුවෙමි...සවස නිවසට ගොස් ගෙම්බාට අභය දානය දුන් වග පියාට පැවසුවෙමි..ඔහුගේ කෙටි පිළිතුර වුවේ "ඒක හොඳයි" යන්නය.

මා අන්තගාමී සත්ව අවිහිංසාවාදියෙක් නොවේ..මේ සිදුවීමේ සඳහන් ගෙම්බා තරමක් අමුතු පහේ සත්වයෙකි.ඔහු ජීවත් වුවේ මගේ පියාගේ නිඳන ඇඳ යටය.උදෑසන අවදි වන මගේ පියාට මෙම සත්වයාගේ මලපහ සහ මුත්‍රා පෑගීම නිතරම සිදුවූ දෙයකි.එකල මගේ මව සිනහසෙමින් පැවසුවේ මේ ගෙම්බා මගේ පියාගේ පෙර භවයක අමනාප වූ නෑයෙකු බවයි.මේ සත්වයාගේ කරදරකාරී හැසිරීම නිසා මගේ පියා ඔහුව ප්‍රධාන මාවතෙන් එහා ඇති ඇල රක්ෂිත පෙදෙසට කිහිප විටක්ම ගෙන ගොස් දැමුවද දින කිහිපයක් යන විට නැවත නිවසට පැමිණීමට පුරුදුව සිටියේය.පසුව මගේ මවගේ පෙරැත්ත කිරීම නිසා ගෙම්බාට තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්නට මගේ පියා ඉඩදී තිබුණි. මා රැගෙන ගියේ එවැනි වරප්‍රසාදිත ගෙම්බෙකි.

බුකියට ලියුවේ චමින්ද ජයසේන