Sunday, March 26, 2017

ජයසිකුරු



1997 වසරේ උතුරු අර්ධද්වීපයට ගොඩබිම් සැපයුම් මාර්ගයක් පාදා ගැනීම වෙනුවෙන් ශ්‍රීලංකා හමුදාව යුධ මෙහෙයුමක් ආරම්භ කල අතර එය ජයසිකුරු මෙහෙයුම යනුවෙන් නම් කරන ලදී.ශ්‍රීලංකා පොලීසියට මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ අපටද එම මෙහෙයුමට උර දෙන්නට සිදුවී තිබුණි...යුධ හමුදාව කනගරායුම්කුලම් ප්‍රදේශය අත්පත් කරගත් අතර එම ප්‍රදේශයේ පිහිටි පුතූර් නාග තම්බිරන් කෝවිලද හමුදාව යටතට ගෙන තිබුණි.මගේ මතකය නිවැරදි නම් එම කෝව
ිල පිහිටියේ A 9 මාර්ගයෙන් කිලෝමීටර් 7,8 දුරිනි..

එක දිනක අපට ඉහලින් ලැබුණු නියෝගයක් වුවේ මෙම පුතූර් කෝවිල ප්‍රදේශයේ ආරක්ෂාව භාර ගන්න ලෙසයි.සාපේක්ෂව කුඩා ආරක්ෂක හමුදා ඒකකයක් සාමාජිකයන් වූ අපට මෙම නියෝගය මඟින් තරමක වික්ෂිප්ත භාවයක් ඇතිවිය.නමුත් නියෝගය යනු නියෝගයම මිස අන්කවරක් නොවෙන නිසා එම පෙදෙස බලා පිටත් වූවෙමු.අපගේ පිරිස 30 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අතර කණ්ඩායමේ ප්‍රධානියා වුවේ අත්දැකීම් බහුල පොලිස් පරීක්ෂක වරයෙකි.මා කණ්ඩායමේ දෙවනි අණදෙන්නා විය...කෝවිලට තරමක් දුරින් වූ අතහැර දමා තිබූ පැරණි විශාල නිවසක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලක අපගේ කඳවුර පිහිටුවීමට තීරණය විය.මෙම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම වල් බිහිව පියස්සක් රහිතව තිබුණි.ගොඩනැගිල්ල මිනිස් වාසය සඳහා සුදානම් කරගැනීම අපට පැවරුණු ප්‍රධාන වගකීම විය..මේ වැඩ කටයුතු කරගෙන යන අතරේ ලැබූ ඉඩ ප්‍රස්තාවකදී අප සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ පුතූර් කෝවිල දක්නට ගියෙමි.යුධ සෙබළුන් විසින් එය රැකවල් කල අතර දරුණු යුධ ගැටුමකින් පසුව වුවද කෝවිලට කිසිදු හානියක් වී නොතිබුණි..

එම කෝවිල නාග වන්දනාව වෙනුවෙන් කැපකළ එකක් බව පෙනුණි.එහි වූ පඬුරු පෙට්ටි මුදල් වලින් පිරී තිබුණි...නොදන්නා දෙවියෙක් වූවත් ඔහු වෙනුවෙන් හිස පහත්කර ආචාර කලෙමි....ක්‍රමයෙන් අඳුරු වැටෙන විට අපගේ කඳවුරු අණදෙන නිලධාරියාගේ උපදෙස් අනුව අපගේ කඳවුරේ වැඩ කටයුතු නතර කරන ලදී.කඳවුරු ප්‍රධානියාගේ අණ පරිදි අපගේ කණ්ඩායම කොටස් 6 කට බෙදා ගොඩනැගිල්ල වටා යෙදවූවෙමි...ගොඩනැගිල්ල ඉදිරිපසින් වූ ගුරු පාරට මුහුණලා අඳුරේ ස්ථාන ගතව සිටි සාමාජිකයන් කණ්ඩායම සමඟ සිටින මොහොතේ අපගේ හිස් වලට ඉහලින් සියුරුහන් දෙමින් ආලෝකය විහිදෙන වෙඩි උණ්ඩ ගණනාවක් පියාසර කලේ මේ මොහොතේය...

මා වහාම බිමට පත්වී අපගේ ප්‍රධානියා හමුවට දිවයන මොහොතේ කිරළුන් කෑගසන හඬකට සමාන හඬක් ඇසුණු අතර එය මෝටාර් ප්‍රහාරයක ආසන්න අවස්ථාව බව දැන සිටියෙමු.අප සිටි ස්ථානයට මීටර් 100 පමණ දුරින් වූ ස්ථාන වලට මෝටාර් ප්‍රහාර නොනැවතී එල්ලවූ අතර කඳවුරු ප්‍රධානියාගේ උපදෙස වූවේ ගොඩනැගිල්ල අතහැර දමා ඈතින් වූ අතහැර දමා තිබූ යුධ අගල් වලට පසු බැසිය යුතු බවයි..මෝටාර් ප්‍රහාරය කොතරම් වේලාවක් එල්ල වූවාදැයි දැන් මට සිහිපත් කරගත නොහැකිය..සමහර විට අළුයම කාලය දක්වාම එය සිදුවන්නට ඇත..පසුදා හිමිදිරි උදයේම අපට ලැබුණු පණිවුඩය වුවේ එම ගොඩනැගිල්ල අතහැර දමා ආපසු එන ලෙසය..කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව කඳවුරු බැඳීමට ගිය සේම කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ආපසු පැමිණියෙමු....






බුකියට ලියුවේ චමින්ද ජයසේන