Tuesday, June 14, 2016

ගෙම්බා



මම උසස් පෙලට ජීව විද්‍යාව හැදෑරුවෙමි. එක් දිනක අපට සත්ව විද්‍යාව ඉගැන්වූ විජේකෝන් ගුරු මහත්මිය දැනුම් දුන්නේ පසුදා පාසැල් එනවිට විච්චේදනය සඳහා ගෙම්බෙකු බැගින් රැගෙන එන ලෙසය.සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකක කාලයක් පමණයි යැයි කියා ඇත්තේ ප්‍රභාකරන් බව කථාවක් තිබේ නමුත් ඒ ප්‍රකාශය බොරු කරමින් පාසැල් ගේට්ටුවෙන් පිටතට යන විටම ගෙම්බා පිලිබඳ මතකය මගෙන් ගිලිහී ගියේය....පසුදා අළුයම මගේ පියා කිසිවෙකුට සාපකරනු ඇසී එදෙසට ගියෙමි.පියාට ගෙම්බෙකුගේ මලපහ පෑගී තිබුණු අතර එයට වගකිවයුතු විශාල ගෙම්බා නිවසේ ඉදිරි දොරටුව දෙසට ගමන් කරන බව දුටුවෙමි.පෙරදින ගුරු මහත්මිය ලබාදුන් උපදෙස සිහියට නැඟුනේ එවිටය..වහාම තරමක් විශාල බෝතලයක් සොයාගත් මම ගෙම්බා එහි සිරගත කලෙමි..වායු සංසරණය වෙනුවෙන් බෝතල් පියනේ සිදුරු කිහිපයක් ඇති කල අතර සත්වයාගේ සුවපහසුව වෙනුවෙන් තෙත පුළුන් ගුලියක්ද බෝතලය තුලට දැමුවෙමි..සත්වයාගේ අවසන් භෝජනය වෙනුවෙන් කුණිස්සන් කිහිපදෙනෙකු බෝතලය තුලට දැමීමට තරම් කාරුණික වීමි.ගෙම්බා රැගෙන යන හේතුව පියාට කියූ අතර ඔහු කිසිවක් ප්‍රකාශ කලේ නැත...පාසල් මිතුරන් පංති කාමරය තුලදී තම තමන් රැගෙන ආ ගෙම්බන් එකිනෙකාට පෙන්වමින් සිටි අතර මම ද ගෙම්බා සහිත බෝතලය බෑගයෙන් එලියට ගෙන පාසල් මේසය මත තබා,සත්වයා දෙස ඇස් මට්ටමින් නරඹමින් සිටියෙමි.ඒ මොහොතේ මගෙත් ගෙම්බාගේත් දෑස් එකට ගැටුණි.ඔහු තම පරිණත බුද්ධිමත් දෑසින් මා දෙස බලා සිටියේ සියල්ල තමා දන්නා බව අඟවමින් බව මට සිතුනි.එසේම ගැට සහිත විශාල ගෙඹි සිරුර දුටුවිට මා කල්පනා කලේ මෙලොව බොහෝ කලක් ජීවත් ඇතැයි සිතිය හැකි මේ සත්වයා මරා දැමීම අපරාධයක් බවය..

මා ඉගෙන ගත් පාසලේ විශාල මැද මිදුලක් තිබුණි..මගේ මතකය අනුව එහි විශාල රොබරෝසියා ගස් කිහිපයක්ද තිබුණි.එයින් එක ගසක් ආසන්නයේ විසිතුරු මසුන් සහිත පොකුණක්ද තිබුණි..කිසිවෙකුට නොදැනී පංති කාමරයෙන් පිටවූ මම පොකුණ අසබඩ දී ගෙම්බාව නිදහස් කලෙමි... කිසියම් දිනක ගැරඬියෙකු මුණ ගැසෙන තුරු මගේ ගෙම්බාට එතැන පාරාදීසයක් වන්නට ඇතැයි අදත් සිතමි.විද්‍යාගාරයේදී විජේකෝන් මහත්මියට බොරුවක් කීවෙමි.බස් නැවතුම් පොලේදී මිතුරන්ට ගෙම්බාව පෙන්වීමට ගත් උත්සාහයේදී සත්වයා පැන ගිය බව කීවෙමි..වැඩිපුර සුහද කථා බස් නොකරන ඇය මේ අවස්ථාවෙදී මහ හඬින් සිනාසෙමින් මට කීවේ කවුරුන් හෝ මිතුරෙකු සමඟ හවුල් වී අදාළ විච්චේදන කටයුතු කරන ලෙසයි..සැබවින්ම අවශ්‍ය තරමටත් වඩා ගෙම්බන් මරා දමා තිබුණු බව දුටුවිට මට කනගාටුවක් ඇතිවිය..කෙසේ හෝ මිතුරන් කිහිපදෙනෙකුගේ ගෙඹි නිදර්ශක ඔස්සේ අදාළ පාඩම හැදෑරුවෙමි...සවස නිවසට ගොස් ගෙම්බාට අභය දානය දුන් වග පියාට පැවසුවෙමි..ඔහුගේ කෙටි පිළිතුර වුවේ "ඒක හොඳයි" යන්නය.

මා අන්තගාමී සත්ව අවිහිංසාවාදියෙක් නොවේ..මේ සිදුවීමේ සඳහන් ගෙම්බා තරමක් අමුතු පහේ සත්වයෙකි.ඔහු ජීවත් වුවේ මගේ පියාගේ නිඳන ඇඳ යටය.උදෑසන අවදි වන මගේ පියාට මෙම සත්වයාගේ මලපහ සහ මුත්‍රා පෑගීම නිතරම සිදුවූ දෙයකි.එකල මගේ මව සිනහසෙමින් පැවසුවේ මේ ගෙම්බා මගේ පියාගේ පෙර භවයක අමනාප වූ නෑයෙකු බවයි.මේ සත්වයාගේ කරදරකාරී හැසිරීම නිසා මගේ පියා ඔහුව ප්‍රධාන මාවතෙන් එහා ඇති ඇල රක්ෂිත පෙදෙසට කිහිප විටක්ම ගෙන ගොස් දැමුවද දින කිහිපයක් යන විට නැවත නිවසට පැමිණීමට පුරුදුව සිටියේය.පසුව මගේ මවගේ පෙරැත්ත කිරීම නිසා ගෙම්බාට තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්නට මගේ පියා ඉඩදී තිබුණි. මා රැගෙන ගියේ එවැනි වරප්‍රසාදිත ගෙම්බෙකි.

බුකියට ලියුවේ චමින්ද ජයසේන

Saturday, March 26, 2016

GPMG අවිය






අවම වශයෙන් වසර 50 ක වත් කාලපරතරයක් ඇතිව ගන්නා ලද මෙම සේයාරූ යුගලේ කළුසුදු ජායාරූපයේ පෙනී සිටින්නේ දෙවන ලෝක යුධ සමයේ සේවයේ යෙදී සිටි ජර්මන් නාසි හමුදාවේ සාමාජිකයෙකි. ඔහු ඉදිරිපිට ඇත්තේ ඒ සමයේ මිත්‍ර පාක්ෂික හමුදාවන්ට බිහිසුණු සාපයක් බඳු වූ MG 42 අවියකි ...

දැවෙන දහවල් හිරු එලියට නිරාවරණය වී තිබූ ජර්මනියේම නිශ්පාදිත GPMG ගිණි අවිය දිවුල් ගසේ සෙවන යට තබා ආපසු එන විටම මගේ මිතුරෙකු විසින් අහඹු ලෙස ගත් ජායාරූපයේ මා සහ ගිණි අවිය සටහන් වී තිබේ.සිරිතක් වශයෙන් ගිණි අවියක් මතින් පා නොතබන මුත් මා ඒ චාරිත්‍රය කඩ කරන බවද පෙනෙයි.ඇත්ත වශෙන්ම අප අපගේ පුද්ගලික ගිණි අවි සමඟ තිබූ බැඳීම මෙවැනි බරැති,හැඩි දැඩි ආධාරක අවි සමඟ නොතිබූ බව කිව යුතුය....

පැරණි MG 42 අවියට වඩා කිලෝ ග්රෑම් 3කින් පමණ බරින් අඩුවූ GPMG අවිය කිලෝ ග්‍රෑම් 8 පමණ බරින් යුතු විය.අවි දෙක සඳහාම යොදා ගත්තේ එකම ආමානයේ උණ්ඩ සහිත පටි වූ අතර ගිණි අවි දෙකෙහිම ප්‍රබලත්වයේ සහ යාන්ත්‍රික ක්‍රියාවලිය බොහෝ දුරට සමානය.මෙම GPMG අවිය කේෂ්ත්‍රයේ රැගෙන යන විට එම අවිය සමඟ නිෂ්පාදකයා විසින් ලබා දී ඇති අමතර බැරලය ද ගෙන යන්නෙමු.දීර්ඝ වෙඩි තැබීමකදී අවියේ බැරලය රත් පැහැතිව ගිනියම් වී ඇති විට තත්පර කිහිපයක් තුල අමතර බැරලය මාරු කල හැකි තරම් විශිෂ්ඨ ලෙස අවිය නිපදවා ඇත...

එසේම හැඩිදැඩි ආධාරක අවියක් වුවද ඉතා ඈතින් ඇති කුඩා ප්‍රමාණයේ ඉලක්කයක් වෙත ඉතා නිවැරදි ලෙස වෙඩි තැබිය හැකි පසු කම්පනය අඩු ක්‍රියාකාරීත්වයෙන් යුතුව මෙම ගිනි අවිය නිෂ්පාදනය කර ඇත.....අපේ පියවරු පමණක් නොව සීයලා සහ මුත්තලාද ජර්මන් බඩු තත්වයෙන් උසස් යැයි පැවසුවේ මේ නිසා වියයුතුය.......


බුකියට ලියුවේ චමින්ද ජයසේන


ජායාරූප ඇල්බමය සුරක්ෂිත කලයුතුය



බොහෝ කලකට පෙර මා විශේෂ කාර්ය බලකායේ සේවයේ යෙදී සිටින සමයේදී යුධ බිය හේතුවෙන් අතහැර දමා තිබූ ගම්මානයක් හරහා ගමන් කරන්නට සිදුවිය..මිනිසුන් අතහැර ගිය පසුඅදාල භුමිය වන සතුන්ට උරුමවී ඇති බව පෙනුණි...ගඩොලින් බිත්ති බැඳ උළු සෙවිළි කල නිවාසයන්ද වන අලි ප්‍රහාරයට ලක්වී විනාශයට පත්වෙමින් පවතින බව දුටුවෙමු...වන අලි ප්‍රහාරයට ලක්ව විනාශයට බඳුන් වෙමින් පැවතී නිවසකට ඇතුල් වූ විට මා දුටුවේ බිම පතිත වී තිබූ ජායාරූප ඇල්බමයකි...එම ජයාරූප ගොනුව තුල පරම්පරා කිහිපයක කතාවක් අන්තර්ගතව තිබූ බව දුටුවෙමි...අපගේ සාමාජිකයන් නිවසේ කාමර පරීක්ශා කරන අතරේ මා කල්පනා කලේ නාඳුනන නිවැසියන් වෙනුවෙන් මෙම ජායාරූප ඇල්බමය සුරක්ෂිත කලයුතුය යනුවෙනි..ඒ වෙනුවෙන් මට කල හැකිව තිබූ හොඳම විකල්පය වූවේ නිවසේ ජනේල වලට ඉහලින් තිබූ සුළං කවුළුවක අදාළ ජායාරූප ඇල්බමය තැන්පත් කිරීමය....ගෙහිමියන්ට තම නිවසට පැමිණෙන්නට අවස්ථාවක් ලැබුණි දැයි මට කිසිදා දැන ගැනීමට හැකියාවක් නොලැබුණි....යුද්ධයෙන් පසු ඔවුන්ට තම නිවසට පැමිණෙන්නට හැකිවූවා නම් සහ මා විසින් සුරක්ෂිත කල ජායාරූප ඇල්බමය ඔවුනට ආපසු ලැබුණා නම් මගේ වෑයම සාර්ථක වන්නට තිබුණි. නමුත් ඒ සම්බන්දව කිසිවක් නොදනිමි...මේ ජායාරූපය එම ගම්මානයේ සීමාවේ සිට ලබා ගත් එකකි...මගේ පසුබිමින් පෙනෙන කතෝලික මුණිවර ප්‍රතිමාව මට සුපුරුදුය.එය එසේ වන්නේ මා අධ්‍යාපනය ලැබූ පාසල ඒ මුනිවරයා වෙනුවෙන් කැපකළ එකක් නිසාය....


චමින්ද ජයසේන විසින් බුකියට ලියන ලදි

අතුකෝරාල මිතුරා



විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට ලැබෙන දැඩි පුහුණුව අවසන් වන්නේ නැගෙනහිර පළාතේ වනගත ප්‍රදේශවලදී ලබාදෙන වන සටන් පාඨමාලාවෙනි.සතියක කාලයක් පැවැත්වෙන මේ පුහුණුව දැඩි දුෂ්කරතා විඳිමින් කලයුතු එකකි...මේ එම පුහුණුවේ එක අවස්ථාවකි.අප කණ්ඩායමේ නායකයා වූ S D අතුකෝරාල මිතුරා වැලි ආකෘතියක් ආධාරයෙන් අපට යම් පැහැදිලි කිරීමක් කරයි ජායාරූපයේ ඔබට වඩාත්ම ආසන්නයේ සිටින්නේ මාය ..අපගේ පුහුණුවෙන් පසු මාස කිහිපයකට පසු මගේ මේ මිතුරා සහ මාහට වවුනියාව ප්‍රදේශයේ එක්ව සේවය කිරීමට ඉඩ ලැබුණි.අප වවුනියාව ප්‍රදේශයේ සේවා කටයුතු යෙදෙන්නට පටන් ගෙන මාසයක් ගත වෙන්නටත් පෙර මගේ මිතුරා සතුරු මෝටාර් ප්‍රහාරයකින් මරුමුවට පත්විය. පපු පෙදෙසේ වම්පස පහලින් සිරුරට ඇතුළු වූ ලෝහ කැබැල්ල ඔහුගේ ජීවිත ඉරණම තීරණය කල අතර මියයන විට 22 හැවිරිදි වියේ පසුවිය.......

Wednesday, March 23, 2016

වන්නිනායක



පොලිස් කොස්තාපල් වන්නිනායක සහ මා විශේෂ කාර්ය බලකායේ 31 වන පුහුණු පාඨමාලාව හැදෑරුවේ එකටයි...පුහුණුවෙන් පසු අප දෙදෙනාටම අම්පාර පොතුවිල් ප්‍රදේශයේ රාජකාරී කටයුතු සඳහා යාමට සිදුවිය... අප ආසන්න කඳවුරු දෙකක සේවය කල බව මතකයට නඟා ගත හැකිය...පොලිස් විශේෂ කාර්ය බලකාය තම ඉතිහාසයේ මුල්වරට වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල කඳවුරු බැඳීමට යන්නේ 1997 වසරේ ජූනි මස 21 වැනිදාය...ඒ සඳහා පිටත්වූ මුල්ම 120 දෙනා අතරට ඔහු සහ මා ඇතුලත් විය...මාස ගණනකට පසු වන්නිනායක ඇතුළු පිරිසකට නැවතත් අම්පාර සහ මඩකලපුව ප්‍රදේශ වලට ස්ථාන මාරුවීම් ලැබුණි...පිටත්ව යාමට පෙර තමන් සමඟ ජායාරූපයකට පෙනී සිටින මෙන් මට ආරාධනාවක් ලැබුණි... ලබාගත් ජායාරූපයේ පිටපතක් මා හට ලබෙන්නට සලස්වන බව වන්නිනායක පොරොන්දු විය...සති දෙකකට පමණ පසු මට මෙම ජායාරූපය තැපෑලෙන් ලැබුණි.............එහෙත් ඒ වන විට පොලිස් කොස්තාපල් වන්නිනායක තම දිවිය හැරදා ගොස් තිබුණි..අම්පාර ලාහුගල ප්‍රදේශයේ මාර්ග සෝදිසි කිරීමක යෙදී සිටියදී එල්ලවූ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකින් ඔහු ඇතුළු අපගේ සාමාජිකයන් කිහිපදෙනෙකු මරණයට පත්වී තිබුණි.....වසර 20 යනු දීර්ඝ කාලයකි සමහර විට ඔහු මිහිදන් කල ස්ථානය අද වන විට වල් වැදී කිසිවෙකුගේ අවධානයකින් තොරව තිබීමටත් ඉඩ ඇත... කෙසේ වූවත් ඔහු තවමත් මගේ මතකයේ රැදී සිටියි...

බුකියේදී මතකය අවදිකලේ  චමින්ද ජයසේන