Friday, October 16, 2015

බෆල්






බොහෝ කලකට පෙර මා විශේෂ කාර්ය බලකායේ සේවය කරන සමයේ, වරින් වර කුඩා කඳවුරක් භාරව කටයුතු කලෙමි.කඳවුරක් යැයි කීවත් එතන තිබුනේ කටු මැටි ගොඩනැගිලි තුනකි....ඒ වටා යුධ අගලක් කැන තිබීමෙන් එය යුධ කඳවුරක් බවට පත්කර තිබුණි. අප සාමාජිකයන් 15 දෙනෙකු පමණ සිටි අතර අමතරව අප විසින් "බෆල්" යනුවෙන් හඳුන්වන සන්නද්ධ රථයක් සහ එහි රියැදුරා සිටියේය.මා මෙම ස්ථානය බෙහෙවින් ප්‍රිය කලත් අපගේ වෙනත් උප පොලිස් පරීක්ෂක වරු මෙතනට පැමිණීමට එතරම් ප්‍රිය කලේ නැත.එයට ප්‍රධාන හේතුව වුවේ මෙහි පවතින හුදකලා ස්වභාවයයි..එක් වකවානුවක බෆල් රථය භාරව සිටියේ මැදිවියේ රියදුරෙකි.ඔහු නිතරම කල්පනා බරව සිටි අයෙකි.එක් දිනකදී ඔහු මා අමතා, තමන්ට හෘදයාබාද තත්වයක් සුළු වශයෙන් පවතින බවත්,යම් ලෙසකින් ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාවක තමන්ට රථය පැදවිය නොහැකි තත්වයකට පත්වුවහොත් සන්නද්ධ රථය සතුරන් අත පත්වීම වලකා ආරක්‍ෂිත තැනකට රැගෙන යාමට හැකි දැයි විමසුවේය.මම නොපැකිලව එකඟ වූවෙමි.රියැදුරු තැන මට යෝජනා කලේ මෙම රථය පැදවීම පුහුණු වීම වඩාත් හොඳ බවයි...මට එකල බරවාහන පැදවීම සඳහා වූ රියැදුරු බලපත්‍රයක් තිබුණද පොලිස් වාහන පැදවීමට කිසිදු නීතිමය අවසරයක් නොතිබිණි...උසස් නිලධාරියෙකුගේ නෙත ගැටේ යැයි චකිතයක් තිබුනද මා රථයේ කුඩා රියැදුරු කුටියේ අසුන් ගත් අතර රියැදුරා,රියැදුරු කුටියට ඇතුල්වෙන දොරටුවේ වූ ඉණි මඟේ එල්ලී සිටිමින් උපදේශක කටයුත්ත කළේය...සැබවින්ම රථය පැදවීම ඉතා පහසු දෙයක් විය.රථය ඉතාමත් බරපතල පෙනුමකින් යුතු වූවත් සැහැල්ලු වෑන් රථයක් පැදවීම තරම් පහසු විය...දෙවැනි දවසේ දහවල් කාලයේදී නැවතත් අපගේ පුහුණුව ආරම්භ වූ අතර රියැදුරා මෙවර සිටියේ රථයේ පිටුපස බක්කියක් වැනි කොටසේය.බෆල් රථය කඳවුරේ සිට ප්‍රධාන මාවත දෙසට වූ ගුරු පාර දිගේ ධාවනය කරමින් සිටියදී අපගේ මුහුණට මුහුණලා හමුවූවේ අපගේ සහකාර පොලිස් අධිකාරී මහතාගේ ජීප් රථයයි.මට දෙවියන් සිහිවිය... අපි දෙදෙනාම ජීප් රථය ඉදිරියට ගොස් සහකාර පොලිස් අධිකාරී මහතාට නිල ආචාර කළෙමු.මා කිසිවක් කියන්නට පෙර රියැදුරා පැවසුවේ තමන්ට හදිසියේ හෘදයාබාද තත්වයක් ඇති වූවහොත් රථය ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යාමට අවශ්‍ය පුහුණුවක් මා හට ලබාදුන් බවයි..නීතිය අකුරට ක්‍රියාත්මක කරවන බෙහෙවින් සැර පරුෂ සහකාර පොලිස් අධිකාරී වරයා අප වෙනුවෙන් වචනයක් හෝ නාස්ති නොකළේය.ඔහු තම රියැදුරා අමතා "ආපසු හැරී යමු යැයි" පවසා නික්ම ගියේය.රියදුරා සහ මා ලතවෙමින් සිටියේ අපගේ රැකියාවන් සම්බන්ධවයි......පසුදා සිට අපගේ රියැදුරා වව්නියාව නගරයේ කඳවුරට අනුයුක්ත කල අතර ඔහු වෙනුවට බෙහෙවින් ක්‍රියාශීලී තරුණ රියදුරෙකු බෆල් රථය වෙනුවෙන් පත්ව පැමිණියේය...මට කිසිදු ප්‍රශ්ණයක් ඇති නොවුනද නැවත රජයේ වාහන පදවන්නට උත්සාහ නොකලෙමි...

බුකියට ලියුවේ චමින්ද ජයසේන